සාර්ක් වරණීය වෙළඳ ගිවිසුම (SAPTA) පිළිබඳ ගිවිසුම සාර්ක් සාමාජික රටවල් 7 වන බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර වරණීය වෙළඳ කලාපයක් ඇති කිරීමේ අරමුණින් 1993 අප්‍රේල් මස දකා හි අත්සන් තබන ලදී. සාර්ක් රටවල් අතර වෙළඳ ලිහිල්කරණයක් ඇති කිරීමේ අදහස පළමුවෙන්ම ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රී ලංකාව විසින් 1991 දෙසැම්බර් මස කොළඹ දී පැවති සාර්ක් සමුළුවෙහි 6 වන සමුළුවාරයේ දී ය. සාර්ක් සාමාජික රටවල් අතර ආර්ථික සහයෝගීතාවය සහ වෙළඳාම ලිහිල්කරණය වඩාත් ඉහළ මට්ටමකට ලඟා වීමට SAPTA හේතුවන බවට එහි දී එකඟ විය.

අරමුණ

SAPTA හි අරමුණ වන්නේ වෙළඳ බදු සහන තුලින් තිරසාර අන්‍යොන්‍ය වෙළඳ සහ ආර්ථික සහයෝගිතාවයක් සාමාජික රටවල් අතර ප්‍රවර්ධනය කිරීමයි. කලාපයේ වෙළඳ සහ ආර්ථික සහයෝගිතාවය උසස් කිරීමෙහි ලා පලමු පියවර වශයෙන් SAPTA හැඳින්විය හැක

මූලික ප්‍රතිපත්ති

  • සමස්ත අන්‍යෝන්‍යතාව සහ ප්‍රතිලාභ ලැබීමේ අන්‍යෝන්‍යතාව
  • වරණීය වෙළඳ ගිවිසුම අදියරයන්ගෙන්  පුළුල් කිරීම සහ වර්ධනය කිරීම සඳහා පියවරෙන් පියවර සිදු කරන සාකච්ඡා සහ කාලානුරූපී සමාලෝචනයන් සිදු කිරීම
  • අමුද්‍රව්‍ය ලෙස හෝ අර්ධ නිශ්පාදිත සහ සකසන ලද ස්වරූපයන්ගෙන් යුතු සියලුම නිෂ්පාදන, භාණ්ඩ ආදිය ඇතුලත් කිරීම
  • ඌණ සංවර්ධිත රටවල් සඳහා විශේෂිත වූ හිතකර සැලකිල්ලක් දැක්වීම

ප්‍රධාන සංරචක

  • තීරු බදු
  • අනෙකුත් බදු
  • තීරු බදු රහිත
  • සෘජු වෙළඳ පියවරයන්

SAPTA විසින් ගිවිසුම් ප්‍රවේශයන් 4ක් දක්වන ලද අතර ඒවා නම් නිෂ්පාදන පදනම මත, දේශ සීමාවෙන් පිට තීරුබදු අවම කිරීම, ආංශික පදනම මත සහ සෘජු වෙළඳ පියවරයන් වේ. කෙසේ වුවත් නිෂ්පාදන පදනම මත පළමුවෙන්ම තීරුබදු සහන ලබා දිය යුතු බවට තීරණය වී ඇත. එමෙන්ම ගිවිසුම හේතුවෙන් තීරුබදු සහන ලබාදීමේ සාකාච්ඡාවන් අඛණ්ඩව සිදු වෙමින් පවති. SAPTA විසින් ඉදිරියේදී තීරු බදු සහ අනෙකුත් බදු සහන ලබා ගැනීමට මෙන්ම තීරු බදු රහිත පියවරයන් සඳහා එළැඹීම, පියවරෙන් පියවර දියුණු කිරීමට සහ අනුක්‍රමික අවධි තුළ විස්තාරණය කිරීම අපේක්ෂා කෙරේ.

බදු සහන ලබාදීමේ ජාතික වැඩපිළිවෙල

ගිවිසුමේ අත්‍යවශ්‍ය අංගයක් වන තීරුබදු සහන ලබා දීමේ වැඩසටහන පිළිබඳ සාකච්ඡා ක්‍රියාවලිය 1993 දී ආරම්භ විය. මෙම කාර්යය සඳහා වෙළඳාම ලිහිල්කරණය පිළිබඳ අන්තර් රාජ්‍ය කණ්ඩායමක් (IGG) පිහිටුවන ලදී. මෙම IGG කණ්ඩායම අවස්ථා 6 දී විවිධ නගරවල රැස්වන ලදී.  1995 අප්‍රේල් මස 20 - 21 දිනයන් හි කත්මණ්ඩු හි පැවැති සය වන රැස්වීම් වාරයේ දී, නියෝජිතයින් විසින් ද්වීපාර්ශවීය සහ කලාපීය ගිවිසුම් පිළිබඳ ප්‍රබල සාකච්ඡා වටයක් පැවැත්වූ අතර SAPTA ගිවිසුම යටතේ එක් සාමාජික රටක ජාතික බදු සහන වැඩපිළිවෙල සඳහා අනෙක් සාමාජික රටවලින් අවසර ලබා දිය යුතු බවට එකඟ විය.

SAPTA යටතේ භාණ්ඩ 5000ක් ආවරණය කරමින් වෙළඳාම පිළිබඳ සාකච්ඡා වට 4ක් පවත්වන ලදී. සෑම වටයක් ම නිෂ්පාදන ආවරණ සඳහා වර්ධනීය ප්‍රවණතාවයක් එක් කළ අතර පෙර වටවලදී පැවති බදු සහනයන් වඩාත් පුළුල් කිරීම සඳහා දායක වන ලදී.

පළමු සහ දෙවන සාකච්ඡා වටවලදී, වෙළඳ සාකච්ඡාවන් පවත්වන ලද්දේ නිෂ්පාදන පදනම් කොට ගනිමිනි. තෙවන සහ සිව්වන වටයන්හි සාකච්ඡාවන් පවත්වන ලද්දේ පරිච්ඡේද වශයෙනි.

SAPTA සහන පවත්වා ගැනීම

2006 ජනවාරි මස 1 වන දින සිට ක්‍රියාත්මක කරන ලද දකුණු ආසියානු නිදහස් වෙළඳ කලාපය පිළිබඳ ගිවිසුමෙන් සාර්ක් වරණීය වෙළඳ ගිවිසුම අවලංගු වේ. ඌණ සංවර්ධිත රටවල් සඳහා SAPTA සහනය පවත්වා ගැනීමේ ගැටලු  පිළිබඳ සාකච්ඡා කිරීමේ දී, ඌණ සංවර්ධිත නොවන රටවල් වෙළඳාම ලිහිල්කරණ වැඩසටහන ඌණ ඩංවර්ධිත රටවල් සඳහා සම්පූර්ණ කර අවසන් කළ පසු, ඌණ සංවර්ධිත සාමාජික රටවල් සඳහා SAPTA සහනය අවසන් වනු ඇත. කෙසේ වුවත්, ඌණ සංවර්ධිත රටවල් සඳහා  තිබෙන  SAPTA සහනය ලැබෙන්නා වූ එක් භාණ්ඩයක්, ඌණ සංවර්ධිත නොවන රටවල සංවේදී ලැයිස්තුවේ ඇතුලත් වූයේ නම්, ඒවා සහනය අවලංගු වන තෙක්ම සමාන මට්ටමෙන් පැවතිය යුතු වේ. SAPTA යටතේ තීරුබදු වරණයන් ලබන, TLP යටතට අයත් වන භාණ්ඩ, TLP මූලික අගයක් සඳහා එකඟ වූ දිනයට පවතින, SAPTA යටතේ ඌණ සංවර්ධිත රටවල් සඳහා සුදුසු අගයට වඩා අඩු අගයකට එම භාණ්ඩ සඳහා පවතින තීරුබදු, ඌණ සංවර්ධිත නොවන රටවල් විසින් අඩු කළ යුතු බවට, කමිටුව විසින් තවදුරටත් එකඟ වන ලදී.  SAFTA පළමු අමාත්‍ය කමිටු රැස්වීම අප්‍රේල් මස පැවැත්විය යුතු බවටත් නිෂ්පාදන සංවේදී ලැයිස්තුවේ තිබේ ද නැද්ද යන වග නොසලකා වෙළඳාම ලිහිල්කරණ වැඩසටහන සම්පූර්ණ කරන තුරු ඌණ සංවර්ධිත රටවල් විසින් ඌණ සංවර්ධිත නොවන රටවල් සඳහා  SAPTA යටතේ සහනයන් පවත්වාගෙන යා යුතු බවටත් එහි දී එකඟ වන ලදී. (වැඩිදුර විස්තර දැනගැනීම සඳහා වාණිජ දෙපාර්තමේන්තුව අමතන්න)