Showcasing Sri Lankan culinary excellence at the Embassy Chef Challenge in Washington DC
Brief Report on “Sri Lanka Beyond Your Dreams” held on 08th March 2024, Hilton Hotel, Dubai, UAE
Towards a digital Sri Lanka: Sri Lankan Embassy in Washington DC hosts an interactive discussion
Sri Lanka Tourism shines bright in Tunisia
Sri Lanka Thailand Free Trade Agreement (SLTFTA )
Sri Lanka Tourism Promotion event in Alexandria Governorate
SRI LANKA SHINES BRIGHT AT VIETNAM EXPO 2023: INNOVATIVE APPROACH FOR FUTURE COLLABORATION
The Embassy of Sri Lanka in Viet Nam participates in the International Food Festival 2023
Products of Sri Lankan SMEs enthrall and fascinate Vietnamese in Ha Noi

Latest News

සියලුම පුවත් මෙතැනින්

දැක්ම

"ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා තුළින් ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම"

මෙහෙවර

“සමස්ත නිෂ්පාදන, ආදායම් සහ සේවා නියුක්තිය දියුණු කිරීම තුළින් ජීවන තත්ත්වය නංවාලීම සහ ඉහළ ජීවන තත්ත්වයක් ළඟාකර ගැනීම මගින් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික වර්ධනය සඳහා ක්‍රියාකාරී ලෙස දායකත්වය ලබාදීමේ අරමුණින් යුතුව, රජයේ වෙළඳ ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳ සම්බන්ධතා ද්විපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික මට්ටම්වලින් සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.”

දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම/ කලාපය (SAFTA)

saftaදකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම 2004 ජනවාරි මස 6 වන දින පකිස්ථානයේ ඉස්ලාමාබාද් හි දී SAARC සාමාජික රටවල අමාත්‍ය කමිටුව විසින් අත්සන් කරන ලදී. සාමාජික රටවල විශේෂඥයින්ගෙන් සමන්විත විශේෂඥ කමිටුව (COE) විසින් SAFTA සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කරන ලදී.

1995 දී පිහිටුවා ගත් දකුණු ආසියානු වරණීය වෙළඳ ගිවිසුම පිහිටුවා ගැනීමත් සමඟ ආරම්භ වූ වරණීය වෙළඳාම ප්‍රවර්ධනය කිරීම තුලින් කලාපීය ආර්ථික ඒකීකරණය තව දුරටත් වර්ධනය කිරීම මෙමඟින් අපේක්ෂා කරයි.

15 වැනි සාර්ක් සමුළුව (2009 අගෝස්තු 2 - 3, කොළඹ ) අමාත්‍ය කමිටුව විසින් ප්‍රතිශෝධිත සංවේදී ලැයිස්තුව පෙරාතුව ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කොට නිර්දේශ කරන ලදී. ඒ අනුව සංවේදී ලැයිස්තුවේ ප්‍රමාණය අඩු කිරීම සඳහා තත්කාර්ය වැඩ කණ්ඩායමක් පිහිටු විය යුතු බවට නිර්දේශ කරන ලදී. මෙම වැඩ කණ්ඩායමේ පළමු රැස්වීම 2010 පෙබරවාරි මස 10 වන දින පවත්වන ලද අතර එහිදී සංවේදී ලැයිස්තුවෙන් ඉවත් කළ යුතු බදු සීමා ගණනාවක යෝජනා ආකෘතීන් පිළිබඳ සාකච්ඡා කරන ලදී. සාමාජික රටවලට සිය ඉල්ලීම් ලැයිස්තුව ද්වීපාර්ශවිකව සකසා ලේකම් කාර්යාලය දැනුවත් කොට තබන ලෙස රැස්වීමේදී නියම විය. ඉල්ලීම් ලැබීමෙන් පසු, සාමාජික රටවල් විසින් ඔවුන්ගේ පළමු පිරිනැමුම් ලැයිස්තුව සියලුම සාර්ක් සාමාජික රටවල් වෙත සාර්ක් මහලේකම් කාර්යාලය හරහා ලබා දිය යුතුය. වැඩ කණ්ඩායමේ ඊලඟ රැස්වීම් වාරය විසින් මෙම ඉල්ලීම් සහ පිරිනැමුම් පිළිබඳ විස්තර ආදිය සකසා අවසන් කිරීමේ අරමුණින් යුතුව සාකච්ඡාවට බඳුන් කරනු ඇත.

සේවා වෙළඳාම පිළිබඳ සාර්ක් ගිවිසුම (SATIS) පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ 5 වන රැස්වීම් වාරය 2010 පෙබරවාරි මස 8 - 9 දිනයන් හි දී නේපාලයේ කත්මණ්ඩු නගරයේ පිහිටි සාර්ක් මහ ලේකම් කාර්යාලයේ දී පැවැත්විය. එහි දී,  සිව්වන රැස්වීමේ දී ප්‍රතිශෝධිත SATIS කෙටුම්පත සාකච්ඡා කොට අවසන් කරන ලද අතර ඊළඟ සාර්ක් සමුළුවෙහි දී සාමාජික රටවල නායකයින් විසින් අත්සන් තැබිය හැකි වන ලෙසට SATIS කෙටුම්පත සකස් කර සම්පූර්ණ කරන ලදී. ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු විශේෂිත බැඳීම් ලේඛන පිළිබඳ සාකච්ඡා කිරීම ආරම්භ කළ යුතු බවට එම රැස්වීමේ දී තීරණය කරන ලදී. අවසන් SATIS කෙටුම්පත 2010 අප්‍රේල් මස 29 වන දින භූතාන් හි පැවති 16 වන සාර්ක් සමුළුවේ දී සාමාජික රටවල නායකයින් විසින් අත්සන් තබන ලද අතර ශ්‍රී ලංකාව විසින් 2010 ජූනි මස 2 වන දින ගිවිසුම අනුමත කරන ලදී.

ආසියා - පැසිෆික් වෙළඳ ගිවිසුම (APTA)

පෙර බැංකොක් ගිවිසුම ලෙස හඳුන්වන ලද ආසියා - පැසිෆික් වෙළඳ ගිවිසුම 1975 දී අත්සන් තබන ලද අතර එය බංගලාදේශය, චීනය, ඉන්දියාව, ලාඕසය, කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව යන රාජ්‍යයන් හයක සාමාජිකත්වයෙන් යුතු  ආසියාවේ පැරණිතම කලාපීය වරණීය වෙළඳ ගිවිසුම් අතුරින් එකකි.

ශ්‍රී ලංකාවට ප්‍රතිලාභදායී ප්‍රථිඵල ගෙන දෙන ඵලදායී කලාපීය ගිවිසුමක් ලෙස APTA හැඳින්විය හැක. එය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ චීනය හා කොරියානු ජනරජය සහිත වන එකම වෙළඳ ගිවිසුම මෙය වන බැවිනි.

2006 සැප්තැම්බර් මස සිට ක්‍රියාත්මක කරන ලද තීරු බදු ලිහිල්කරණයේ තෙවන වටයෙන් පසු APTA යටතේ සිදු කරන ලද අපනයන වර්ධනය විය. 2009 දී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනය, 2008 අගය වූ ඇ.ඩො.මි. 35.3 සමඟ සසඳන විට ඇ.ඩො.මි. 49.48 වන්නේ 40% ක වර්ධනයක් වාර්තා කරමිනි. APTA යටතේ චීනයට සිදු කරන ලද අපනයන 2009 වසරේ දී ඇ.ඩො.මි. 28.98 ක් වන්නේ 53% ක වර්ධනයක් සටහන් කරමිනි. කොහු බත් නිෂ්පාදන, තේ ස්වභාවික රබර්, රෙදිපිළි, මත්ස්‍ය නිෂ්පාදන, සක්‍රීය කාර්බන්, දැවමය ගෘහ භාණ්ඩ, රිදී ආභරණ සහ පෝසිලේන් APTA යටතේ ශ්‍රී ලංකාව සිදු කරන ප්‍රධාන අපනයනයන් වේ.

වෙළඳ සාකච්ඡාවන්ගේ සිව්වන වටය අවසානයේ දී තවදුරටත් සහන සකස් කරන ලද අතර 2007 ඔක්තෝබර් මස 26 වන දින ඉන්දියාවේ ගෝවා හි පැවති APTA අමාත්‍ය කමිටුවේ දෙවැනි සැසිවාරයේදී දියත් කරන ලදී. නිෂ්පාදන ආවරණය සහ තීරු බදු කපා හැරීම් තවදුරටත් පුළුල් කිරීමේ සහ තීරුබදු රහිත පියවරයන්, වෙළඳාම පහසුකරණය, සේවා සහ ආයෝජනය වැනි අංශයන් සඳහා ගිවිසුම විස්තාරණය කිරීමේ අරමුණින් යුතුව අමාත්‍යවරුන් විසින් මෙම වටය දියත් කරන ලදී. 2009 දෙසැම්බර් මස 15 වන දින කොරියාවේ සෝල් හි දී තෙවන අමාත්‍ය කමිටු රැස්වීම පවත්වන ලදී. එයට අමතරව වෙළඳාම පහසුකරණය හා ප්‍රවර්ධනය, ආයෝජන ආරක්ෂණය සහ නිදහස්කරණය යනුවෙන් රාමු ගිවිසුම් දෙකක් ද එහිදී අත්සන් කරන ලදී.

ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA)

1998 දෙසැම්බර් 28 වන දින අත්සන් තබන ලදුව 2000 මාර්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම, ද්වීපාර්ශවීය වෙළඳාම සහ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම තුලින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික සබඳතා වඩාත් දියුණු කිරීම අපේක්ෂා කරයි. මෙම ගිවිසුම මඟින් භාණ්ඩ වෙළඳාම පමණක් ආවරණය වන අතර දෙරටේ අපනයනයන් සඳහා තීරු බද්දෙන් නිදහස් මෙන්ම සහන සහිත තීරු බදු ඇතුලත් වෙළඳපොළ ප්‍රවේශයක් ලබා දීම සිදුවේ. තීරු බදු රහිත බාධා ඉවත් කිරීම ISFTA මඟින් සැලසෙන්නේ නැත.

2009 පළමු මාස 7 ඇතුලත දී ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සිදු කරන ලද අපනයන ඇ.ඩො.මි. 162.51 සිට ඇ.ඩො.මි. 239 දක්වා ඉහළ ගොස් ඇත්තේ අනුරූපී 2010 වර්ෂය තුල 45.4% ක වර්ධනයක් වාර්තා කරමිනි. 2009 අනුරූපී කාලය හා සමඟ සංසන්දනයේ දී 2010 පළමු මාස 7 ඇතුලත මේ වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑ හේතුව වන්නේ කුළුබඩු (කරාඹුනැටි, සාදික්කා, වසාවාසි, ගම්මිරිස්), විදුලි යන්ත්‍රෝපකරණ සහ කොටස්, තඹ නිෂ්පාදන, රබර් ෂීට්, පල්ප්, රසකැවිලි සහ බේකරි නිෂ්පාදන, ටයර් සහ ටියුබ්, වීදුරු ආශ්‍රිත නිෂ්පාදන, දැවමය නිෂ්පාදන, ඇඟළුම්, ඇඟළුම් සහ රෙදිපිළි උපාංග, ගෘහ භාණ්ඩ, සකසන ලද පළතුරු සහ බීම, ආභරණ ආදී ක්ෂේත්‍රයන්ගේ අපනයන ඉහළ යෑමයි. කෙසේවුවත් තේ, සෙරමික් නිෂ්පාදන, කුරුඳු, මැණික්, බොයිලේරු සහ යන්ත්‍රෝපකරණ, සැකසූ ආහාර, ඛනිජ වැලි, සක්‍රීය කාර්බනාදී අපනයනයන් 2009 වර්ෂයට සාපේක්ෂව 2010 ජූලි මස වන විට අඩු වී ඇත.

ISFTA යටතේ නිෂ්පාදන විවිධාංගීකරණය

එළවළු තෙල්, මූලික තඹ, මාගරින්, කිරිගරුඬ හා ගම්මිරිස් වැනි දැවැන්ත අපනයනයන්ගේ පහත වැටීමක් දක්නට ලැබුන ද විවිධ නිෂ්පාදන ගණනාවක්ම ඉන්දියාවේ වෙළඳපොළ වෙත ප්‍රවේශය ලබා ඇත. ඒවා අතර පරිවෘත කම්බි සහ කේබල්, කුකුල් කෑම, වායව ටයර්, සෙරමික්, ඇඟළුම්, ගෘහභාණ්ඩ, වායු සමන යන්ත්‍ර සහ ශීතක, මැනීමේ සහ පරික්ෂා කිරීමේ උපකරණ, වීදුරු බෝතල්, සකසන ලද මාංශ නිෂ්පාදන, මධ්‍යම ඝනත්ව තන්තු (MDF) පුවරු, රබර් අත්මේස්, තාප පත්‍රිකා, ටයිල්, ගල් වර්ග සහ කිරිගරුඬ, බොයිලේරු සහ යන්ත්‍ර කොටස්, යකඩ සහ ලෝහ ද්‍රව්‍ය, පැනල පුවරු සහ ආවරණ, බෑග් සහ ගමන් මළු ආදිය වේ.

පකිස්ථාන - ශ්‍රි ලංකා නිදහස් වෙළඳ ගිවිසුම(PSFTA)

2005 ජූනි මස 12 වන දින බලාත්මක කොට ක්‍රියාත්මක කරන ලද පකිස්ථාන - ශ්‍රි ලංකා නිදහස් වෙළඳ ගිවිසුම දෙරට අතර වෙළඳාමෙහි සැලකිය යුතු වර්ධනයක් සිදු කර ඇත්තේ 2004 වසරේ ඇ.ඩො.මි. 147.1 ක්  වූ අගය 2015 වන විට දී ඇ.ඩො.මි. 370.38 ක වර්ධනයකිනි. 2004 වසරේ ශ්‍රී ලංකාවේ අපනයන අගය වූ ඇ.ඩො.මි. 39.2, 2015 වන විට  ඇ.ඩො.මි. 73.10 ලෙස වර්ධනය වී ඇත්තේ සාර්ක් රටවල් අතුරින් පකිස්ථානය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වෙළඳ පාර්ශවකරු බවට පත්කරමිනි. මෙහි පළමු ස්ථානය හිමි වන්නේ ඉන්දියාවට ය.

ශ්‍රී ලංකාව පකිස්ථානය වෙත සිදු කරන ප්‍රධාන අපනයනයන් වන්නේ ගම්මිරිස්, බීඩි කොළ, බුලත් කොළ, පොල් කටු කැබලි, ස්වභාවික රබර්, පොල් සහ නැවුම් හා වියළි කජු, දැව හා දැවමය ද්‍රව්‍ය, ඛාදනීය එළවළු, තේ ය. PSFTA ගිවිසුමේ ආරම්භයත් සමඟ නව නිෂ්පාදන ගණනාවකට පකිස්ථාන වෙළඳපොළ වෙතට එළඹිය හැකි විය. ඒ අතර නැවුම් අන්නාසි, ක්‍රීඩා උපකරණ, ඇට සහිත සියඹලා, ඛාදනීය තෙල්, පෝසිලේන් පිඟන් භාණ්ඩ සහ මුළුතැන්ගෙයි උපකරණ, සෙරමික් ටයිල්, ගෘහ භාණ්ඩ, විද්‍යුත් ස්විච සහ සොකට්, ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය, තීන්ත, වීදුරු පින්තාරු, හම් ආශ්‍රිත නිෂ්පාදන, ශීතකළ මාළු, ඉස්සෝ, පොකිරිස්සෝ, කකුළුවෝ, කැපූ මල් සහ ශාක පත්‍ර, මැණික් සහ ස්වර්ණාභරණ සහ මත්ස්‍යයින් ඇතුලත් වේ.

දෙරටම සිය බැඳීම් සම්පූර්ණ කර අවසන්ව ඇති අතර මේ වන විට දෙරටෙහිම නිෂ්පාදන 4500කට අධික ප්‍රමාණයක් තීරු බදු රහිත වෙළඳපොළ ප්‍රවේශය අත් කරගෙන ඇත.

ලෝක වෙළඳ සංවිධානය

ලෝක වෙළඳ සංවිධානය හා ඒ ආශ්‍රිත සියළු කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය ජාතික කේන්ද්‍රස්ථානය ලෙස හා ලෝක වෙළඳ සංවිධානය යටතේ වන සියළු බහුපාර්ශ්වීය සාකච්ඡා වලදී ශ්‍රී ලාංකීය නියෝජිතයෙකු ලෙස කටයුතු කරන්නේ වාණිජ දෙපාර්තමේන්තුවයි. ජිනීවා නියෝජනය හා ජාතික හවුල්කාර සබඳතා හරහා දැනට පැවැත්වෙන දෝහා සාකච්ඡාවලදී ශ්‍රී ලාංකීය අයිතීන් සුරැකීමේ කාර්යයේ වාණිජ දෙපාර්තමේන්තුව යුහුසුළුව නියැලී සිටියි.

ඇමෙරිකාව, යුරෝපා සංගමය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා ජපානය ඇතුළු ඉතා වැදගත් වෙළඳ පාර්ශ්වකරුවන් සමඟ ගනුදෙනු කිරීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආයතනික ව්‍යුහය ලෙස කටයුතු කරන්නේ ලෝක වෙළඳ සංවිධානයයි.

ලෝක වෙළඳ සංවිධානය 1995 වසරේදී ස්ථාපිත කිරීමත් සමගම ශ්‍රී ලංකාව එහි ආරම්භක සාමාජිකයෙකු බවට පත්වූ අතර, ඊට ප්‍රථමයෙන් පැවති බදු හා වෙළඳාම පිළිබඳ සාමාන්‍ය ගිවිසුමේ ආරම්භක සාමාජිකයන් 23 දෙනා අතර ශ්‍රී ලංකාව ද විය. උක්ත ගිවිසුමේ අනුග්‍රහය යටතේ උරුගුවේ වෙළඳ සාකච්ඡා වට පැවැත්වුණු අතර එය ලෝක වෙළඳ සංවිධානය ස්ථාපිත කිරීමේ මූලාරම්භය විය.

වත්මන් බදු පාර්ශ්වීය වෙළඳාම් ක්‍රමය පාලනය කරනු ලබන්නේ ලෝක වෙළඳ සංවිධානය විසින් වන අතර කාර්මික භාණ්ඩ වෙළඳාම, බැංකුකරණය, විදුලි සංදේශ, කාර්මික ප්‍රමිතින් හා නිෂ්පාදනවල ආරක්ෂාව, ආහාර ආරක්ෂණ රෙගුලාසි, රේගු වලංගු කිරීම්, බුද්ධිමය දේපල හා වෙනත් ආශ්‍රිත ක්ෂේත්‍ර මෙමගින් පාලනය වන අනෙකුත් ප්‍රධානතම ක්ෂේත්‍රයන් ලෙස දැක්විය හැකිය. ලෝක වෙළඳ සංවිධානය යටතේ සිදු කෙරෙන දේශීය හා විදේශීය වෙළඳාම් වෙනස් කොට නොසැලකීමේ ප්‍රතිපත්තිය මත  සිදු කෙරේ. නමුත් මෙයට ව්‍යතිරේකයන් ලෙස නිදහස් වෙළඳ ගිවිසුම් හා අන්‍යොන්‍ය නොවන වරණීය වෙළඳ ගිවිසුම් දැක්විය හැකිය.

ලෝක වෙළඳ සංවිධානයේ බහු පාර්ශ්වීය වෙළඳාම් ක්‍රමය පිළිබඳ වැඩි විස්තර ලෝක වෙළඳ සංවිධානයේ www.wto.org වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

වෙළඳ වරණයන් පිළිබඳ ගෝලීය ක්‍රමය (GSTP)

සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ වරණයන් පිළිබඳ ගෝලීය ක්‍රමයේ තෙවන සාකච්ඡා වටයට ශ්‍රී ලංකාව මේ වන විට සහභාගි වෙමින් සිටී. 1988 වසරේදි ස්ථාපිත කරන ලද උක්ත ක්‍රමය සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා එම රටවල් අතර වෙළඳ වරණයන් හුවමාරු කර ගැනීම සඳහා වන ව්‍යුහයක් ලෙස කටයුතු කරන අතර එක් එක් මට්ටමේදී සිදු කෙරෙන  ක්‍රමික සාකච්ඡා හරහා ආර්ථික සහයෝගිතාවය ඇති කිරීමේ ශක්තිමත් මෙවලමක් ලෙසද ක්‍රියාත්මක වේ. 1989 වසරේ සිට ‍එම ගිවිසුමේ මෙහෙයුම් පූර්ණ වශයෙන් සමාලෝචනය කිරීමෙන් අනතුරුව සහභාගි වන්නන්ගේ කමිටුව විසින් තෙවන සාකච්ඡා වටය 2004 වසරේදී ආරම්භ කළේය.

තෙවන සාකච්ඡා වටය 2010 වසරේදී බ්‍රසීලයේදී සමාප්ත වූ අතර එම සාකච්ඡාවේ මුල්ම සාමාජිකයන්ගෙන් 8 දෙනෙකු විසින් අවසන් ගිවිසුමට අත්සන් තබන ලදී. ශ්‍රී ලංකාව තවමත් එයට අත්සන් තබා නොමැති අතර එයට හේතුව වන්නේ ආරම්භය පිළිබඳ නිති සම්බන්ධයෙන් වන සාකච්ඡා තවමත් අවසන්ව නොමැති වීමයි.

දකුණු - දකුණු වෙළඳාම හරහා සහයෝගිතාවය නම් අදහසට මූලික දේශපාලනික අනුමැතිය ලැබුනේ 1976 වසරේදී මෙක්සිකෝවේ පැවති G77 කණ්ඩායමේ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී වන අතර මෙය තවදුරටත් අරූෂා (1979) හා කරකාස් (1981) හිදී පැවති අමාත්‍යවරුන්ගේ රැස්වීම්ලදී සංවර්ධනය කෙරිණි.

1982 වසරේදී නිව්යෝර්ක් නුවරදී රැස්වුණු G77 රටවල විදේශ අමාත්‍යවරුන් විසින් මෙම ගිවිසුමේ මූලික සංරචකයන් නිර්වචනය කොට ඉදිරි සාකච්ඡා සඳහා අවශ්‍ය ව්‍යුහය සකස් කරන ලදී. 1984 වසරේදී G 77 විසින් ජිනීවා හිදී රැස්ව ව්‍යුහාත්මක ගිවිසුමේ විවිධ සංරචකයන් සඳහා වන මූලික සූදානම් කටයුතු සිදු කළේය. ජිනීවාහිදී පැවති සාකච්ඡා වලට අවශ්‍ය අතිරේක සහාය සහ ශක්තිය නවදිල්ලියේදී පැවති අමාත්‍යවරුන්ගේ රැස්වීම් තුලින් ලැබුණු අතර 1986 දී බ්‍රසීලියාහිදී පැවති අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ගිවිසුමට අවශ්‍ය විධිවිධානමය ව්‍යුහය සකස්ව වරණීය වෙළඳ සහන පිළිබඳ ප්‍රථම සාකච්ඡා වටය ආරම්භ විය. 1988 වසරේදී ගිවිසුමේ කෙටුම්පත අනුමත වී ඉන් අනතුරුව බෙල්ග්‍රේඩ්හිදී ප්‍රථම සාකච්ඡා වටය සමාප්ත විය