වැදගත් වෙළඳ පාර්ශවකරුවන් සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් වෙළඳ හා ආර්ථික සහයෝගිතා ගිවිසුම් ආදියෙහි ඒකාබද්ධ ආර්ථික කමිටු සඳහා අදාල කටයුතු සිදු කරන කේන්ද්‍රීය ආයතනය ලෙස වාණිජ දෙපාර්තමේන්තුව ක්‍රියා කරනු ලබයි. ඒකාබද්ධ ආර්ථික කමිටු යටතේ ද්වීපාර්ශවීය වෙළඳ ගිවිසුම් සඳහා තීරණ සැකසීම, සම්බන්ධීකරණය කිරීම හා ක්‍රියාත්මක කිරීම වැනි සියලුම කටයුතු වාණිජ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

වෙළඳාම හා සම්බන්ධ කටයුතුවලට අවශ්‍ය තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාවය දිරිමත් කරමින් එම රටවල් වෙත ශ්‍රී ලංකාවෙන් සිදුකරන අපනයනයන් වර්ධනය කොට විස්තාරණය කිරීමට මෙම ඒකාබද්ධ ගිවිසුම් මඟින් අවස්ථාව සැලසේ.
අමාත්‍ය/ ලේකම් මට්ටමෙන් පවත්වන ලද පහත සඳහා ඒකාබද්ධ කමිටු සඳහා සම්බන්ධීකරණ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සිදු කරනලදී.

ශ්‍රී ලංකාව - ඕස්ට්‍රේලියාව

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ද්වීපාර්ශවික වෙළඳ සහ ආයෝජන සබඳතා වැඩිදියුණු කිරීම සහ පහසුකම් සැලසීමේ පරමාර්ථයෙන් වෙළඳ සහ ආයෝජන රාමු ගිවිසුම (TIFA) 2017 නොවැම්බර් මාසයේදී අත්සන් කරන ලදී. වෙළඳාම සහ ආයෝජනය පිළිබඳ ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ඒකාබද්ධ කමිටුව (JC) ගිවිසුම අනුව පිහිටුවන ලද අතර ඒකාබද්ධ කමිටුවෙහි 01 වන සැසිවාරය 2018 අප්‍රේල් මස ඕස්ට්‍රේලියාවේ දී පැවැත් වූ අතර එහි 2 වන සැසිවාරය 2019 සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේ දී පැවැත්විණි.
 
JC හි අතුරු රැස්වීම 2021 නොවැම්බර් 17 වැනි දින පැවැත්විණි. එය වාණිජ දෙපාර්තමේන්තුව, ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය එක්ව 2020-2021 කාල පරිච්ඡේදය සඳහා ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය කිරීම සහ අනුමත කිරීම පිණිස සංවිධානය කරන ලදී. රජයන් අතර හා රජය සම්බන්ධ ක්‍රියාකාරකම්, සංවර්ධන හවුල්කාරිත්වය, වෙළඳපොළ ප්‍රවේශය සහ වාණිජ අභිරුචීන් ක්‍රියාකාරී සැලැස්ම තුළ ප්‍රධාන වශයෙන් ඇතුළත් වේ. රටවල් දෙක විසින්ම නව යෝජනා සමාලෝචනය කරමින් මීළඟ පසු විපරම් රැස්වීම් මෙන්ම 2022 දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට අපේක්ෂා කරන JC හි 3 වැනි සැසිවාරය සඳහා දින නියම කරන ලදී.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම සැමරීමට සමගාමීව JC හි 3 වැනි සැසිවාරය පැවැත්වීමට යෝජනා විය. අතුරු රැස්වීමේදී එකඟ වූ පරිදි ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය කිරීමට 2021 දෙසැම්බර් සහ 2022 මාර්තු මාසවලදී ද සමාලෝචන රැස්වීම් පැවැත්විණි

ශ්‍රී ලංකාව - බංගලාදේශය

දෙරට අතර වෙළඳ, සංස්කෘතිය, අධ්‍යාපන සහ සමාජ සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව 1979 දී ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර ඒකාබද්ධ කොමිසම (JC) පිහිටුවන ලදී.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර JC හි 5 වන සැසිවාරය 2016 නොවැම්බර් 9 වන දින කොළඹදී පැවැත්විණි. ඒකාබද්ධ කමිටු රැස්වීමේ 5 වන සැසිවාරයේ දී යෝජනා වු පහත දැක්වෙන අවබෝධතා ගිවිසුම් සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ බංගලාදේශ සංචාරය අතරතුර අත්සන් තබන ලදී.

  • ආයෝජනය සම්බන්ධයෙන් සහයෝගීතාව සඳහා බංගලාදේශ ආයෝජන සංවර්ධන අධිකාරිය (BIDA) සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුම
  • බංගලාදේශ ප්‍රමිති සහ පරීක්ෂණ ආයතනය (BSTI) සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) අතර අවබෝධතා ගිවිසුම
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
  • ලංකා නැව් සංස්ථාව (CSC) සහ බංගලාදේශ නැව් සංස්ථාව (BSC) අතර අවබෝධතා ගිවිසුම
  • චිතගොන් BGMEA විලාසිතා සහ තාක්ෂණ ආයතනය (CBIFT) සහ ශ්‍රී ලංකා ඇඟලුම් සහ රෙදිපිළි ආයතනය (SLITA) අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
  • කෘෂිකර්මාන්තය සම්බන්ධ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

ශ්‍රී ලංකාව - බෙලරුසය

ශ්‍රී ලංකාව සහ බෙලරුසය විසින් 2014 වසරේ වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ ද්වීපාර්ශවික ගිවිසුමකට අත්සන් තබන ලදී. බෙලරුස් - ශ්‍රී ලංකා වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කමිටුවේ (JEC) පළමු සැසිවාරය 2014 ජූලි 9- 10 දිනවල කොළඹදී පැවැත්විණි.

JEC හි 2 වන සැසිවාරය 2016 අගෝස්තු 19 වන දින බෙලරුස් ජනරජයේ මින්ස්ක් හිදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේ දී දෙරට අතර ආර්ථික ව්‍යාපෘති සහ වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව දෙපාර්ශවමය සාකච්ඡා කළ අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම සඳහා දෙරට අතර විද්‍යා සහයෝගීතාව පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට දෙපාර්ශ්වය එකඟ විය.

ශ්‍රී ලංකාව - බල්ගේරියාව

ශ්‍රී ලංකාව සහ බල්ගේරියාව අතර වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ ගිවිසුම 1975 දෙසැම්බර් 26 වැනි දින සොෆියා හි දී අත්සන් කරන ලද අතර ඔවුන් යුරෝපා සංගමයට ඇතුල් වීමේ ප්‍රතිඵලයක් ලෙස එම ගිවිසුමේ 10 වැනි වගන්තියට (අවසන් කිරීම) අනුව 2007 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි බල්ගේරියානු පාර්ශ්වය විසින් ගිවිසුම අවසන් කරන ලදී.

2012 දී ශ්‍රී ලංකාව ඉහත ගිවිසුම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීමට නිල වශයෙන් එකඟ විය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ බල්ගේරියාව අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමක් කඩිනමින් අත්සන් කළ යුතු බවට යෝජනා විය.

ශ්‍රී ලංකාව - චීනය

1952 වර්ෂයේ මුල් කාලය තුළ 1952 රබර් සහ සහල් ගිවිසුමට අදාළව වෙළඳ ගිවිසුමක් සහ පස් අවුරුදු වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමත් සමඟ දෙරට අතර වෙළඳ සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් විය. එකළ සිට 1982 වන තෙක්, දෙරට අතර වෙළඳාම සිදු වන රාමුව දැක්වෙන වෙළඳ සහ ගෙවීම් ගිවිසුම් පිළිබඳ සාකච්ඡා සෑම වසර 5 කට වරක්ම සිදු කරන ලදී. මෙම ගිවිසුම් යටතේ සහල් සහ රබර් හුවමාරුව සඳහා ලබා දී ඇති වාර්ෂික ප්‍රොටෝකෝල අත්සන් කරන ලදී. භාණ්ඩ හුවමාරු ගනුදෙනු මෙහෙයවීම සඳහා නිෂ්කාශන ගිණුම් කට්ටල දෙකක් ඔවුන්ට අදාළවන මහ බැංකු සමඟ පවත්වාගෙන යන ලදී.

1982 දී දෙරට අතර අත්සන් කරන ලද වෙළඳ සහ ගෙවීම් ගිවිසුම සහ ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම යන ගිවිසුම් දෙක ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව 1991 දී ශ්‍රී ලංකා-චීන ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව සඳහා ඒකාබද්ධ කමිටුව (JETC) පිහිටුවන ලදී. 1992 මාර්තු මස කොළඹදී පැවති JETC හි පළමු සැසිවාරය මුදල් අමාත්‍යාංශය විසින් මෙහෙයවන ලද අතර ඒකාබද්ධ කමිටුවේ දෙවන සැසිවාරය 1996 මාර්තු මාසයේදී බීජිං හි දී පැවැත්විණි. ශ්‍රී ලංකා-චීන JETC හි 5 වැනි සැසිවාරය 2013 අප්‍රේල් 24 වැනි දින කොළඹ දී පැවැත්වුණු අතර, ද්වීපාර්ශවික වෙළඳ සහ වාණිජ සබඳතා ශක්තිමත් කිරීමේ යාන්ත්‍රණයක් ලෙස දෙරට අතර වරණීය වෙළෙඳ ගිවිසුමකට (PTA) එළැඹීමේ හැකියාව ගවේෂණය කිරීමේ ශ්‍රී ලංකාවේ යෝජනාව පිළිබඳව ද ඇතුළු ප්‍රධාන තීරණ රැසක් මෙම සැසියේදී දෙරට අතර ගනු ලැබීය. JETC හි 6 වන සැසිවාරය 2014 ජුනි 07 වන දින බීජිං හිදී පැවැත්විණි. එම සැසිවාරය අතරතුර, 2014 සැප්තැම්බර් මස චීන ජනාධිපතිවරයාගේ කොළඹ සංචාරය අතරතුර දී නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡා දියත් කිරීමට දෙපාර්ශවය එකඟතාවය පළ කර ඇත.

චීන ශ්‍රී ලංකා JETC හි 7 වැනි සැසිවාරය 2021 සැප්තැම්බර් 24 වැනි දින මාර්ගගත ලෙසින් පැවැත්විණි. ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් විසින් මෙහෙයවන ලද අතර චීන නියෝජිත පිරිස මෙහෙයවනු ලැබුවේ චීනයේ වාණිජ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා විසිනි. දෙරට අතර ද්වීපාර්ශවික වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම සැසිවාරය වැදගත් පියවරක් විය. දෙරට අතර සහයෝගීතා ක්ෂේත්‍ර සහ වසර ගණනාවක් පුරා ශක්තිමත් වෙමින් පවතින වෙළඳ, ආයෝජන සහ සංචාරක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙන්ම උපායමාර්ගික සහයෝගීතාව වර්ධනය කිරීමේදී යටිතල පහසුකම් සැපයීමේ වැඩසටහනක් වන චීනයේ “ China’s Belt and Road Initiative (BR)” වැඩසටහනේ වැදගත්කම පිළිබඳ දෙපාර්ශවය විසින්ම අවධාරණය කරන ලදී. 7 වන JETC තුළින් මතු වූ කරුණු පිළිබඳ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පසු විපරම් රැස්වීම් 2021 දෙසැම්බර් 15 සහ 2022 මාර්තු 31 යන දිනවල පවත්වන ලදී.

ශ්‍රී ලංකාව - ඊජිප්තුව

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව විසින් 1987 මාර්තු 29 වැනි දින ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබූ අතර දේශ සීමා අතර සිදු වන වෙළඳාම මෙන්ම විශේෂිත වෙළඳ ගැටලු විසඳීම උදෙසා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට එමඟින් මග පෑදිණි. 1990 ජූලි 16 සිට 19 දිනයන් හි ඒකාබද්ධ කමිටු රැස්වීමේ පළමු සැසිවාරය ශ්‍රී ලංකාවේ පැවැත්විණි. ඉන් අනතුරුව, දෙරටේ වෙළඳ අමාත්‍යවරුන් සම සභාපතිත්වය දරන ඒකාබද්ධ කමිටුවක් බවට ඒකාබද්ධ කමිටුව පත් කිරීමට රජයන් දෙකම එකඟ විය. වෙළඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ නව JC රැස්වීමේ 1 වන සැසිවාරය 1996 ජනවාරි 23-28 කාලය තුළ අමාත්‍ය මට්ටමින් කයිරෝ හි පැවැත්විණි.  JC හි 2 වැනි සැසිවාරය ද 2002 නොවැම්බර් 3,4 දිනයන් හි කයිරෝ නුවරදී පැවැත්විණි. JC හි දෙවන සැසියේදී දෙපාර්ශවය විසින් රටවල් දෙක අතර නිදහස් වෙළඳ ගිවිසුම් FTA වෙත එළඹීමේ හැකියාව, වෙළඳ හා ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ දී පුද්ගලික අංශයේ සහයෝගීතාව, ආයෝජන, සමුද්‍රීය, ශාක ස්වස්ථතතා අවශ්‍යතා සහ ගුවන් සේවා යන අංශ සඳහා ද්විපාර්ශවික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරන ලදී.    
නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා අත්සන් කිරීමට දෙපාර්ශවයම එකඟ වුවද, ඊජිප්තු පාර්ශවය නිදහස් වෙළඳ ගිවිසුමකට වඩා වරණීය වෙළඳ ගිවිසුමකට (FTA) වැඩි කැමැත්තක් දැක් වූ බව පෙනෙන්නට තිබූ අතර, ශ්‍රී ලංකාවේ තේ ආදිය සඳහා වරණීය වෙළඳපොළ ප්‍රවේශය සහ ඊජිප්තු පලතුරු සඳහා වෙළඳපොළ ප්‍රවේශය ඊට ඇතුළත් වේ. නිරෝධායන රෙගුලාසිවලට අනුව ඊජිප්තුවේ ඇතැම් පලතුරු වර්ග ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති බැවින්, යෝජිත PTA යටතේ වරණීය ප්‍රවේශය ඉල්ලා සිටීමට අපේක්ෂා කරන ඊජිප්තු පලතුරු ලැයිස්තුව HS කේතයන් සහිතව ඉදිරිපත් කරන ලෙසට ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලදී.

ශ්‍රී ලංකාව - යුරෝපා සංගමය

1973 දී පිහිටුවන ලද යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ කොමිසම යටතේ ශ්‍රී ලංකා - යුරෝපා සංගම් වෙළඳ සහ ආර්ථික සබඳතා සහයෝගීතාව පිළිබඳ වැඩ කණ්ඩායම (WGTEC) පිහිටුවන ලදී.

WGTEC වාර්ෂික සැසිය 2022 ජනවාරි 26 වැනි දින, මාර්ගගතව පැවැත්විණි. වෙළඳ ප්‍රතිපත්ති වර්ධනයන්, යුරෝපා සංගමයේ GSP සහ GSP+ පිළිබඳ, ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය, WTO සහ බහුපාර්ශවික/ රටවල් කිහිපයක් පදනම් කරගත් බහුපාර්ශවික න්‍යාය පත්‍රය යටතේ ඇති කරුණු, ද්විපාර්ශවික වෙළඳපොළ ප්‍රවේශ ගැටළු සහ වෙළඳාම ආශ්‍රිත සහය පිළිබඳ දළ විශ්ලේෂණය සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීම් මෙන්ම සාකච්ඡාවන් දෙපාර්ශවය විසින් පවත්වන ලදී.

තවද, ඉන්දුනීසියාව සමඟ ඇතැම් රෙදිපිළි නිෂ්පාදන සඳහා ප්‍රභවස්ථානය පිළිබඳ කලාපීය නීති සමුච්චිත කිරීම සඳහා වූ ශ්‍රී ලංකාවේ යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වය යුරෝපා සංගමයේ පාර්ශ්වයෙන් පසු විපරම් කළ අතර EU- UK FTA මත පදනම්ව, ප්‍රභවස්ථානය  එක්සත් රාජධානිය  වූ රෙදිපිළිවලින් සාදන ලද ඇඟළුම් සඳහා වන තීරුබදු සහනය දීර්ඝ කිරීමේ අපේක්ෂාවෙන් යුරෝපා සංගමයෙන් සිදු කරන්නට නියමිත ඉල්ලීම පිළිබඳව  ශ්‍රී ලංකාව විසින් යුරෝපා සංගමයේ පාර්ශවය යාවත්කාලීන කරන ලදී. මේ සම්බන්ධයෙන් වන යෝජනාව දැනටමත් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා යුරෝපා සංගමයට ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාව -ඉරාකය

1975 දී ශ්‍රී ලංකාව සහ ඉරාකය අතර අත්සන් කරන ලද වෙළඳ ගිවිසුම මගින් ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳ ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීම සඳහා විධිවිධාන සකස් වී ඇති අතර එහි පළමු සැසිවාරය 1979 මාර්තු මාසයේ කොළඹදී පැවැත්විණි. එහිදී ආරක්ෂාව, වෙළඳ සහ කර්මාන්ත, සංචාරක, ද්වීපාර්ශවික ගුවන් සම්බන්ධතා, ආයෝජන, කෘෂිකර්මය, ධීවර හා ජලජීවී වගාව, අධ්‍යාපනය, තාක්ෂණික සහයෝගීතාව මෙන්ම සමාජ හා සංස්කෘතික සබඳතා ඇතුළු පුළුල් පරාසයක ක්ෂේත්‍ර හරහා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශවය විසින් එකඟතාවය පළ කර ඇත.
 
දෙරටේ වාණිජ මණ්ඩල අතර වෙළඳ හා ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සහ වර්ධනය කිරීම සඳහා ඉරාක වාණිජ මණ්ඩලය විසින් ලංකා වාණිජ මණ්ඩලය (CCC) සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) සමඟ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබන ලදී.
 
මෑත කාලයේ දී පවත් වන ලද 8 වැනි සැසිවාරය, 2014 පෙබරවාරි 24-25 දිනවල බැග්ඩෑඩ් හිදී පැවැත්විණි. මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාව විසින් අවබෝධතා ගිවිසුම් කිහිපයක් පිළිබඳ කෙටුම්පත් සලකා බැලීම සඳහා ඉදිරිපත් කරන ලදී. එම අවබෝධතා ගිවිසුම්වලට ද්විපාර්ශවික ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, කෘෂිකර්ම සහ ඒ ආශ්‍රිත අංශවල සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, අපරාධ කටයුතුවලදී අන්‍යෝන්‍ය නෛතික සහය පිළිබඳ අවබෝධතා ගිවිසුම, අධිකරණ අමාත්‍යාංශ දෙක අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ඇතුළත් විය. මෙම සැසිවාරය අතරතුර වෙළෙඳ, මූල්‍ය, බැංකු, බදු, ආයෝජන, කෘෂිකර්මය, සංස්කෘතිය, ප්‍රවාහනය, ශ්‍රම වෙළඳපොළ සහ සංචාරක ව්‍යාපාරය පිළිබඳව අදහස් හුවමාරු විය.

ශ්‍රී ලංකාව - ඉරානය

ඉරාන - ශ්‍රී ලංකා ඒකාබද්ධ කමිටුව (JC) පිහිටුවීමේ ගිවිසුම 1987 දී අත්සන් කරන ලදී. දෙරට අතර වෙළඳ, සංස්කෘතිය, අධ්‍යාපන සහ සමාජ සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඒකාබද්ධ කමිටුව පිහිටුවන ලදී. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර JC හි 11 වන රැස්වීම 2016 පෙබරවාරි 24-25 දිනවල කොළඹදී පැවැත්විණි. එම රැස්වීමේදී වෙළඳ, ආර්ථික සහ සංස්කෘතික සබඳතා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු විය.

බැංකු, මූල්‍ය කටයුතු, වෙළඳාම, තෙල්, තේ සහ කෘෂිකර්මය, රක්ෂණය, ආර්ථික සහ රේගු සහයෝගිතාව සහ ප්‍රමිති, ප්‍රවාහනය, විද්‍යාව සහ තාක්ෂණය, සෞඛ්‍යය, සංස්කෘතිය මෙන්ම පුහුණු වැඩසටහන් යන සහයෝගීතා ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා JC හි 11 වන සැසිවාරයේ පසු විපරම් කමිටු රැස්වීම 2018 පෙබරවාරි 7-8 දිනවලදී පවත්වන ලදී.

ජනාධිපතිතුමාගේ සංචාරයේදී අත්සන් කරන ලද පහත දැක්වෙන අවබෝධතා ගිවිසුම් පහක් පිළිබඳ පසුබිම් කටයුතු පසු විපරම් කමිටු රැස්වීමේදී සිදු කරන ලදී.

• නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව අවබෝධතා ගිවිසුම
• සිනමාව සහ රූපවාහිනිය පිළිබඳ අවබෝධතා ගිවිසුම
• ප්‍රමිතිකරණය, මිනුම් විද්‍යාව, පුහුණුව පිළිබඳ අවබෝධතා ගිවිසුම
• සංස්කෘතික, විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගිතා වැඩසටහන පිළිබඳ අවබෝධතා ගිවිසුම
• සෞඛ්‍ය, වෛද්‍ය විද්‍යාව, ඖෂධ සහ වෛද්‍ය උපකරණ පිළිබඳ අවබෝධතා ගිවිසුම

ශ්‍රී ලංකාව - හංගේරියාව

ආර්ථික සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකා හංගේරියානු ඒකාබද්ධ කමිටුවේ 01 වැනි සැසිවාරය 2019 අප්‍රේල් 23-24 දිනවල බුඩපෙස්ට් හි දී පැවැත්විණි. ඒකාබද්ධ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන් හරහා දෙරට අතර වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම, හංගේරියාවේ Ties Aid Credit වැඩසටහන පිළිබඳ සහයෝගිතාව , කෘෂිකර්මය, ජල කළමනාකරණය, අධ්‍යාපනය, විද්‍යාව සහ තාක්ෂ්ණවේදය සහ ආපදා කළමණාකරණය මෙන්ම දෙරට අතර ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුම අවසන් කිරීම යන කාරණා පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

ශ්‍රී ලංකාව - ඉන්දුනීසියාව

1996 ජුනි මාසයේදී ශ්‍රී ලංකාව විසින් ඉන්දුනීසියාව සමඟ ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව (ETC) සඳහා ද්වීපාර්ශවික ගිවිසුමකට එළඹෙන ලදී. ETC යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා ඒකාබද්ධ කොමිසමක් (JCBC) පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට 2007 ඔක්තෝබර් 01 වන දින අත්සන් කරන ලදුව එහි 01 වන රැස්වීම 2012 ජනවාරි 26 වන දින කොළඹ දී පැවැත්විණි.

2014 ඔක්තෝම්බර් 13 වන දින ජකර්තා හි පැවති JCBC හි 02 වන රැස්වීමේ දී, JCBC යටතේ දෙරට අතර වෙළඳාම සහ ආයෝජන පිළිබඳ වැඩ කණ්ඩායමක් (WGTI) පිහිටුවීමට එකඟ විය. සාකච්ඡා වට කිහිපයකින් පසුව, WGTI හි කාර්ය නිර්දේශ (ToR) කෙටුම්පතට දෙපාර්ශවය විසින්ම එකඟතාවය පළකෙරුණි. වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සහ වාණිජ දෙපාර්තමේන්තුව (DOC) විසින් WGTI හි කාර්ය නිර්දේශය ශ්‍රී ලංකා පාර්ශවය වෙනුවෙන් කඩිනමින් අත්සන් කිරීමේ කටයුතු සූදානම් කරමින් සිටී.

ශ්‍රී ලංකාව - ජෝර්දානය

1965 දී අවසන් කරන ලද වෙළඳ ගිවිසුම වෙනුවට ගරු අපනයන සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයාගේ ජෝර්දාන සංචාරය අතරතුර දී ශ්‍රී ලංකාව සහ ජෝර්දානය නව ද්විපාර්ශවික වෙළඳ සහ ආර්ථික සහයෝගීතා ගිවිසුමකට 2007 මැයි 18 වැනි දින අත්සන් තැබීය.

ශ්‍රී ලංකාව - කෙන්යාව

දෙරට අතර වෙළඳ කටයුතු පුළුල් කිරීමේ අරමුණින් යුතුව 2010 දී අතිගරු ජනාධිපතිවරයාගේ කෙන්යා සංචාරය අතරතුර අත්සන් කරන ලද ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර ද්විපාර්ශවික වෙළඳාම පිළිබඳ අවබෝධතා ගිවිසුමක්  මඟින් ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර ඒකාබද්ධ වෙළඳ කමිටුව (JTC) පිහිටුවන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර JTC හි පළමු රැස්වීම 2014 නොවැම්බර් 11 වන දින කොළඹ දී පැවැත්විණි. මෙම හමුවේදී දෙපාර්ශවය විසින්ම පුළුල් පරාසයක ක්ෂේත්‍ර අතර සහයෝගීතාව ඇතිකිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.

රේගු කටයුතු, අපනයන ප්‍රවර්ධනය, දෙරටේ වෙළඳ මණ්ඩල අතර සහයෝගීතාව, තේ/පොල්/පශු සම්පත්/ සම්භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රවල මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් ද්විපාර්ශවික සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙම හමුවේදී යෝජනා විය.

ශ්‍රී ලංකාව - කුවේටය

ශ්‍රී ලංකාව සහ කුවේට් අතර වෙළෙඳාම පිළිබඳ ද්විපාර්ශවික ගිවිසුම 1994 අප්‍රේල් 26 වැනි දින අත්සන් කරන ලදී. ඒකාබද්ධ කමිටු රැස්වීමේ පළමු සැසිවාරය 1997 මාර්තු 10-12 දිනවල කොළඹ දී පැවැත්වුණු අතර එහි 2 වැනි සැසිවාරය 2018 ඔක්තෝබර් 09-11 දක්වා කුවේ ට්හි දී පැවැත්විණි.

දෙවන සැසිවාරයේදී විශේෂයෙන්ම වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් වැදගත් නිගමන කිහිපයකට දෙපාර්ශවය විසින්ම එළැඹිණි. ඒ අනුව, ශ්‍රී ලංකාව විසින් අපනයන ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීමට මෙන්ම කුවේටයේ තෝරාගත් ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන සඳහා සහභාගී වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලනු ඇත. විභවීය කුවේට් ආයෝජකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද තීරණය විය. දෙරටේම ව්‍යාපාරික ප්‍රජාව අතර සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ජාතික වාණිජ මණ්ඩලය (NCC) සහ කුවේට් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (KCCI) අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාවය පළ කරන ලදී. මේ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමේ කෙටුම්පත දැනටමත් කුවේට් පාර්ශ්වයට ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාව -මැලේසියාව

ආර්ථික, විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකා - මැලේසියා ඒකාබද්ධ කොමිසමේ 01 වැනි රැස්වීම 2006 ජුනි මාසයේදී කොළඹදී පැවැත්විණි. ඒකාබද්ධ කොමිසමේ දෙවන සැසිවාරය 2013 ඔක්තෝබර් 21-22 දිනයන් හි  මැලේසියාවේ ක්වාලාලම්පූර්හි දී පැවැත්විණි. මෙම සැසිවාරයේදී දෙපාර්ශවයට අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන ද්වීපාර්ශවික වෙළඳාම වැඩි දියුණු කිරීම කෙරෙහි මනා අවධානයක් යොමු කිරීම සඳහා වෙළඳාම පිළිබඳ ඒකාබද්ධ වැඩ කණ්ඩායමක් පිහිටුවීමට දෙපාර්ශවයම එකඟ වන ලදී.

වෙළඳාම පිළිබඳ යෝජිත ඒකාබද්ධ ක්‍රි වැඩ කණ්ඩායම සඳහා වන කෙටුම්පත් ශ්‍රී ලංකා පාර්ශවය විසින් සකස් කර මැලේසියාව වෙත ඉදිරිපත් කර ඇත. තවද දෙපාර්ශවය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් නිදහස් වෙළඳ ගිවිසුමකට එළැඹීමේ  අනාගත හැකියාව සොයා බැලීමට එකඟතාවය පළ කරන ලදී.

ශ්‍රී ලංකාව - පකිස්තානය

දෙරට අතර ඒකාබද්ධ ආර්ථික කොමිසම (JC) 1974 දී පිහිටුවන ලදී. එහි 12 වන සැසිවාරය 2021 පෙබරවාරි 3 වන දින ලේකම් මට්ටමින් මර්ගගතව පවත්වන ලදී. වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙන්ම දෙරටේ සමාගම් විසින් මුහුණ දෙනු ලබන දිගුකාලීන වෙළඳ හා ආයෝජන සම්බන්ධ ගැටලු විසඳීමේ අරමුණින් මෙම සාකච්ඡා පැවැත්විණි. මෙම සැසිවාරයේ සාධනීය ප්‍රතිඵල කිහිපයක් වූ අතර, වෙළඳාම පිළිබඳ වැඩ කණ්ඩායම් රැස්වීමේදී වැඩිදුර සාකච්ඡා තාක්ෂණික මට්ටමින් පැවැත්වීමට දෙපාර්ශවයම එකඟ විය.

මෙම JC යාන්ත්‍රණය යටතේ, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳාම, ආයෝජන සහ මෝටර් රථ අංශය (JWG) පිළිබඳ ඒකාබද්ධ වැඩ කණ්ඩායම් රැස්වීමක් ස්ථාපිත කර ඇත. එහි 2 වන රැස්වීම 2021 මැයි 21 වැනි දින මාර්ගගතව පවත්වන ලදී. පකිස්ථානු පාර්ශවය දිනයන් තහවුරු කළ පසු 3 වන JWG රැස්වීම පවත්වනු ඇත. එසේම, JC යටතේ, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර රේගු සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ වැඩ කණ්ඩායම් රැස්වීමක් පවත්වන ලද අතර, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දෙරටේ රේගු බලධාරීන් විසින් රේගුව සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කරන ලද එහි 2 වන රැස්වීම 2021 අගෝස්තු 04 වන දින මාර්ගගතව පවත්වන ලදී. මෙම සාකච්ඡාවට වාණිජ දෙපාර්තමේන්තුව ද සහභාගී විය.

ශ්‍රී ලංකාව - කටාර්

ශ්‍රී ලංකාව සහ කටාර් අතර ආර්ථික, වාණිජ සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ගිවිසුම 2012 ජනවාරි 15 ​​වැනි දින කොළඹ දී අත්සන් කරන ලදී. ඒකාබද්ධ කමිටුවෙහි පළමු සැසිවාරය 2014 සැප්තැම්බර් 14-15 දිනවල පැවැත්විණි.

2017 ඔක්තෝම්බර් 30 සහ 31 යන දෙදින තුළ දෙවන සැසිවාරය කොළඹ දී පවත්වන ලද අතර දෙපාර්ශවයේම අවධානයට ලක්වූයේ 2017 ඔක්තෝබර් 25,26 දිනයන් හි ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කටාර් රාජ්‍ය වෙත සාර්ථකව සිදු කෙරුණ සංචාරය යි. මෙම සංචාරයේ ප්‍රතිඵලයක් වශයෙන්, LNG, ගුවන් සේවා, සංචාරක සංවර්ධන සහ කෘෂිකර්මාන්තය යන විශේෂිත ක්ෂේත්‍ර හතරක සහයෝගීතාව වැඩි දියුණු කළ යුතු බවට දෙපාර්ශවයම විසින්ම නිරීක්ෂණය කරන ලදී.

ශ්‍රී ලංකාව සහ කටාර් අතර සහයෝගිතාවක් ඇති කර ගත හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව දෙපාර්ශවයේ විශේෂඥයින් විසින් සාකච්ඡා කරන ලදී. ඊට වෙළඳාම, ආයෝජන, සංචාරක සහ බලශක්තිය, ප්‍රවාහනය සහ යටිතල පහසුකම්, කෘෂිකර්මය සහ පරිසරය, ශ්‍රමය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ සංස්කෘතිය වැනි තවත් ක්ෂේත්‍ර කිහිපයක් ඇතුළත් විය.

ශ්‍රී ලංකාව - රුමේනියාව

ආර්ථික සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා - රුමේනියා ඒකාබද්ධ කමිටුවේ 8 වැනි සැසිවාරය 1991 දෙසැම්බර් මස කොළඹ දී පැවැත්විණි. මෙම රැස්වීමේදී ශ්‍රී ලංකා රජය සහ රුමේනියානු රජය අතර වෙළඳ, ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ කෙටුම්පත් ගිවිසුමක් පිළිබඳව සාකච්ඡා කරන ලදී. නව ගිවිසුමට 1975 වෙළඳ ගිවිසුම සහ 1968 ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම යන දෙකෙහිම මූලික අරමුණු ඇතුළත් කර ඇත. මේ වන විට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති නව කෙටුම්පතට විදේශ කටයුතු සහ මුදල් අමාත්‍යාංශ සිය එකඟතාව පළ කර ඇත. මීළඟ ඒකාබද්ධ කමිටුවේ දී මෙම වෙළඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට අපේක්ෂා කෙරේ. රුමේනියාව සහ ශ්‍රී ලංකාව විසින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ දිනයකදී අදාළ අමාත්‍යවරුන් විසින් බුකරෙස්ට්හි දී මෙම ගිවිසුම සඳහා අත්සන් කරනු ඇත.

ශ්‍රී ලංකාව - රුසියාව

රුසියාව සහ ශ්‍රී ලංකාව විසින් අන්තර් රාජ්‍ය කොමිසමක් (IGC) පිහිටුවීමේ ගිවිසුමට පිළිවෙළින් 2015 අප්‍රේල් 23 සහ 2015 ජුනි 23 වැනි දින රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අත්සන් කරන ලදී. ඒ අනුව, IGC පිළිබඳ ගිවිසුම 2015 ජුනි 23 දින සිට බලාත්මක විය.
IGC හි පළමු සැසිවාරය 2016 පෙබරවාරි 10-12 දිනයන් හි මොස්කව්හි දී පැවැත්වුණු අතර 2 වැනි සැසිවාරය 2017 ඔක්තෝබර් 24-26 දිනයන් හි කොළඹ දී පැවැත්විණි. 3 වන IGC සැසිවාරය සඳහා සූදානම් වීමේ රැස්වීමක් ලෙස, රුසියානු සමූහාණ්ඩුව විසින් IGC හි සම සභාපතිවරුන් අතර රැස්වීමක් යෝජනා කරන ලද අතර එය 2021 ජුනි 15 වන දින මර්ගගත ලෙසින් පවත්වන ලදී. මෙම සම සභාපතිවරුන්ගේ රැස්වීමේදී දෙපාර්ශවයම වෙළඳපොළ ප්‍රවේශ ගැටළු; ද්විපාර්ශවික වෙළඳ සහ ආයෝජන සහයෝගීතාව; ගුවන් සහයෝගීතාව; රේගු සහයෝගීතාව; කෘෂිකර්ම සහයෝගීතාව; බලශක්තිය සහ බලශක්ති අංශයේ සහයෝගීතාව; කර්මාන්ත සහයෝගීතාව; තොරතුරු තාක්ෂණ සහ අභ්‍යවකාශ සහයෝගිතාව සහ පර්යේෂණ සහ සංවර්ධනය යන ක්ෂේත්‍ර ආවරණය කෙරෙන පරිදි ඉදිරියේ පැවැත්වීමට නියමිත 3 වන IGC හි දී ගත යුතු යෝජනා හුවමාරු කර ගන්නා ලදී. 3 වන IGC රැස්වීම විවිධ හේතූන් මත පෙබරවාරි මාසයේ සිට, පසුව අප්‍රේල් සහ 2022 මැද භාගය දක්වා කිහිප වතාවක් කල් දැමීමෙන් පසුව 2022 අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව - දකුණු කොරියාව

ශ්‍රී ලංකා රජයේ යෝජනාවකට අනුව දෙරට අතර ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ ගිවිසුම සඳහා  2017 නොවැම්බර් මාසයේ දී අත්සන් තබන ලදී.

එහි පළමු රැස්වීම 2018 ජුනි 28 වන දින කොළඹ දී පැවැත්විණි. වෙළඳාම, ආයෝජන, සංචාරක, යටිතල පහසුකම් සංවර්ධනය, බලශක්තිය, වරාය, සමුද්‍රීය සහ ධීවර කර්මාන්තය ඇතුළු ආර්ථික සංවර්ධනයට අදාළ කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව - තායිලන්තය

ඒකාබද්ධ කමිටුවේ විදේශ අමාත්‍ය මට්ටමේ 4 වැනි සැසිවාරය තායිලන්ත පාර්ශවයෙන් පැවැත්වීමට නියමිතය. 3 වැනි සැසිවාරය 2013 වසරේ කොළඹදී පැවැත්විණි. 2022 මැයි 06 වැනි දින ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඒකාබද්ධ කමිටුව යටතේ වෙළෙඳාම සම්බන්ධ කරුණු පිළිබඳ උප කමිටුවේ 4 වැනි රැස්වීම පැවැත්විණි. ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්ම (JAP) පිළිබඳ සාකච්ඡා කිරීම එහි න්‍යාය පත්‍රයේ ප්‍රධානම අයිතමය විය.

2018 ජූලි 12-13 දිනයන් හි ශ්‍රී ලංකාවට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා මහතාගේ නිල සංචාරය ගැන සඳහන් කරමින්, තායිලන්තය සහ ශ්‍රී ලංකාව උපායමාර්ගික ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳ අවබෝධතා ගිවිසුමට (MOU) අත්සන් කළහ. දෙපාර්ශවය අතර උපායමාර්ගික ආර්ථික හවුල්කාරිත්වය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා, ක්‍රමයෙන් විකාසනය වන ව්‍යාපාරික හා ආර්ථික පරිසරය සහ සහභාගිවූවන්ගේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සැලකිල්ලට ගනිමින්, 2020 වන විට සාක්ෂාත් කර ගැනීම සඳහා, අංශ 10ක් (ආයෝජන, යටිතල පහසුකම්, කෘෂිකාර්මික සංවර්ධනය, කර්මාන්ත, ධීවර, මැණික් හා ස්වර්ණාභරණ, සංචාරක, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, මූල්‍ය සහයෝගිතාව, ඇසුරුම් කර්මාන්තය සහ තොරතුරු තාක්ෂණ අංශයේ සංවර්ධනය) ආවරණය වන පරිදි “ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක්” සකස් කිරීමට සහභාගිවන්නන් තීරණය කළ අතර එය කොවිඩ්-19 හේතුවෙන් 2022 දෙසැම්බර් 31 දක්වා කල් දමන ලදී.

ශ්‍රී ලංකාව - තුර්කිය

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ගිවිසුම 2007 නොවැම්බර් 27 වන දින සිට බලාත්මක වූ අතර,  ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ තුර්කි-ශ්‍රී ලංකා ඒකාබද්ධ කමිටුවේ (JCETC) 01 වන සැසිවාරය 2016 නොවැම්බර් 11-12 දිනයන් හි තුර්කියේ, අන්කාරා හි දී පැවැත්විණි.

JCETC හි 02 වන සැසිවාරය 2021 ජුනි 10 වන දින මාර්ගගතව පැවැත්විණි. අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන ලෙස සහ තිරසාර අයුරින් ද්විපාර්ශවික වෙළඳාම, ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව මෙම සැසිවාරයේ දී අවධානය යොමු විය. JCETC හි සාකච්ඡා කරන ලද ක්ෂේත්‍ර අතරට ආයෝජන ප්‍රවර්ධනය, කොන්ත්‍රාත් සහ ඉංජිනේරු උපදේශන සේවා, අධ්‍යාපනය, විදේශයන්හි අදාළ ප්‍රජාවන්ගේ ගැටළු, විද්‍යාව, තාක්ෂණ සහ මිනුම් විද්‍යාව, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසාය (MSME), ප්‍රමිතිකරණය, සිවිල් ගුවන් සේවා, සමුද්‍රීය ප්‍රවාහනය, සෞඛ්‍යය, සංස්කෘතිය සහ සංචාරක ව්‍යාපාරය, බලශක්තිය, කෘෂිකර්මය, ජල සුරක්ෂිතතාව සහ ජල තත්ත්ව යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතාව ඇතුළත් වේ.

සැසිවාරයේ දී සාකච්ඡා කරන ලද කරුණුවල ප්‍රගතිය පිළිබඳව අදාළ ශ්‍රී ලංකා ආයතන මෙන්ම තුර්කියේ බලධාරීන් සමඟ පසු විපරම් කටයුතු සිදු කෙරේ. JCETC හි 03 වන සැසිවාරය දෙපාර්ශවය විසින්ම එකඟ වනු ලබන දිනයක පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව - එක්සත් අරාබි එමිර් රාජ්‍ය

ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙළඳ හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කමිටුව (JCTEC)  2014 දී අත්සන් කරන ලද අතර එහි 01 වැනි සැසිවාරය ජනවාරි 26 සහ 27 දිනයන් හි අබුඩාබියේදී පැවැත්විණි. සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහය පිළිබඳ ගිවිසුම, පිටුවහල් කිරීම සහ යුක්තිය පිළිබඳ ගිවිසුම, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ව්‍යාපාරික කවුන්සිලය පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුම, කම්කරු සවිබල ගැන්වීමේ ගිවිසුම සහ සංචාරක ප්‍රවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම යනාදී දෙපාර්ශවයටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව 1 වන සැසිවාරයේදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව - ඇමරිකා එක්සත් ජනපදය

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර 2002 දී අත්සන් කරන ලද වෙළඳ සහ ආයෝජන රාමු ගිවිසුම (TIFA), දෙරට අතර සමීප වෙළඳ සහ ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් ආයතනික වැඩපිළිවෙළක් සපයනු ලබයි. මෙමඟින් ඉහළ මට්ටමේ වෙළඳ නිලධාරීන් අතර නිරන්තර සම්බන්ධතා පැවැත්වීම සඳහා පහසුකම් සැලසෙන අතර, දෙරට අතර වෙළඳාමට සහ ආයෝජන ප්‍රවාහයට බාධා කරන ඕනෑම ගැටළුවක් අදාළ බලධාරීන් විසින් හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දිය හැකි වේ.
13 වන TIFA යටතේ 13 වන ඒකාබද්ධ කමිටු රැස්වීම (JCM), 2019 ජූනි 19 සහ 20 යන දිනවල කොළඹ දී පැවැත්වුණ අතර ඊට එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් සහ ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් සහභාගී විය. එවකට සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය (MODSIT) විසින් රැස්වීම සමාරම්භ කරන ලද අතර, තාක්ෂණික මට්ටමේ සැසිය සඳහා ශ්‍රී ලංකාවේ වාණිජ අධ්‍යක්ෂ ජනරාල් සහ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපදයේ සහකාර වෙළඳ නියෝජිත විසින් සම-සභාපතිත්වය දරණ ලදී.
නියෝජිත කණ්ඩායම් දෙක විසින් 13 වන TIFA රැස්වීම යටතේ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විෂය කරුණු රාශියක් ආවරණය කරමින් වඩාත් සමීප සංවාදයක නිරත වන ලදී. ශ්‍රී ලංකාවේ වෙළඳපොළ ප්‍රවේශය, වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, වෙළඳාම පහසුකරණය, බුද්ධිමය දේපල හිමිකම්, ඩිජිටල් ආර්ථිකයේ වර්ධනයන් සහ නවෝත්පාදන, රාජ්‍ය ප්‍රසම්පාදනය, පරිසරය සහ වෙළඳ ශක්‍යතා ගොඩනැගීම වැනි ක්ෂේත්‍ර කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. 14 වැනි TIFA රැස්වීමට පෙර අන්තර් සැසිවාර රැස්වීමක් 2022 දී අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනයක පැවැත්විය යුතු බවට එක්සත් ජනපදය විසින් යෝජනා කර ඇත.

ශ්‍රී ලංකාව - වියට්නාමය

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳාම පිළිබඳ අනු කමිටුවේ (SCT) 01 වැනි සැසිවාරය 2015 මාර්තු 26 වැනි දින කොළඹ දී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර SCT හි 02 වන රැස්වීම 2019 ඔක්තෝම්බර් මාසයේදී වියට්නාමයේ හැ නොයි හිදී පැවැත්විණි. රේගු කටයුතු, කෘෂිකාර්මික අංශයේ අන්‍යෝන්‍ය සහය, ධීවර ක්ෂේත්‍රයේ සහයෝගිතාව, රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ සහයෝගිතාව සහ කාර්මික යන්ත්‍රෝපකරණ, ගුවන් සේවා සහයෝගිතාව සහ ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව ඇතුළු සහයෝගීතාව ලබාගත හැකි ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි.

වෙළඳාම, ආයෝජන සහ ව්‍යාපාරික සහයෝගීතාවයේ දුෂ්කරතා සහ බාධා ඉවත් කිරීම සඳහා ගත හැකි නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශවය විසින් සාකච්ඡා කරන ලදී. සෞඛ්‍ය සහ සංචාරක ව්‍යාපාරය වැනි තවත් ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව පුළුල් කිරීමටත්, වෙළඳ සහ සංචාරක සංවර්ධනයට සහාය වීම සඳහා දෙරට අතර සෘජු ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීමටත් ශ්‍රී ලංකාව සහ වියට්නාමය එකඟතාවය පළ කරන ලදී.

 

Latest News

සියලුම පුවත් මෙතැනින්